සෝලියස් මෙන්දිස් (1897-1975)
නිර්මාණ කුසලතාවන්ගෙන් හෙබි අතළොස්සක්
වූ අග්‍රගණ්‍ය කලාකරුවන් අතරින් කැළණි නව බුදු මැදුර සිතුවමින් ඔපවත් කළ කහවේ
වලිමුණි සෝලියස් මෙන්දිස් කලාකරුවන් හට ලැබෙනුයේ අද්විතීය ස්ථානයකි
1897 වර්ෂයේ එක් සුන්දර දිනයක මීගමු පුරවරයෙන් ආයුර්වේද වෛද්‍ය වරයෙකුගේ
පුතෙකු ලෙසින් මෙලොව එලිය දකින්නට පින්බර වූ ඔහු සිත්තම්කරණයේ මේසා විශාල පෙරළියකට
තුඩු දෙතැයි කවුරු නම් දැන සිටියාද?
ගැමියෙකු ලෙසින් සුන්දර ගම් පියසක හැදී
වැඩුණු ඔහු නිරතුරුවම තම කාලය ගෙවා දැමුයේ පන්සල ආශ්‍රිතව වන අතර කිසිදු වෘත්තීය
හෝ ශිල්පීය අභාසය නොලද්දෙකි.
නාත්තණ්ඩිය වීරහේන විද්‍යාරතන පිරිවෙණට
ඇතුළු වී පාලි හා සංස්කෘත ආදී භාෂාවන් ඉගෙන ගනිමින් සිටින අතරතුරදී ඔහුගේ දිවිය
වෙනස් මගකට යොමු කළ වැදගත් සිදුවීමක් සිදු විය. එවකට මාවිල පන්සලේ බිත්ති මත
සිතුවම් අඳින ලද්දේ මෙන්දිස්ගේ ඥාතියෙකු වූ මෙමෝනිස් සිල්වා විසිනි. එම සිතුවම්
නැරඹීමෙන් අනතුරුව සිතුවම් ඇඳීමට ආශවක් දැක්වූ ඔහුගේ සිත ඒ කෙරෙහි ඇදී යන්නට ඇත.
අධ්‍යාපනය පසෙක තබා මුළු කාලයම චිත්‍ර
ඇඳීමට වෙන් කළ සෝලියස් මෙන්දිස් සතු ප්‍රතිභා ශක්තියදුටු මෙමෝනිස් සිල්වා ඔහුට ඒ
සඳහා අවස්ථාව ලබා දුනි.විහාර සිත්තම්කරණයට සෝලියස් මෙන්දිස් සිත්තරාට මං සලකුණු
හෙළි පෙහෙළි වූයේ අයුරිනි.එහිදී අඳින ලද බෝසත් රුව අද ද මාවිල පන්සලේ දක්නට ලැබේ.
මෙන්දිස්ගේ චිත්‍ර කලා පාසල වූයේ
පන්සලේ බිත්තියයි. ස්ව අධ්‍යයනයකින් චිත්‍ර කලාව ඉගෙන ගත් ඔහු එවකට සිටි විවිධ
ශිල්පීන්ගේ ආභාසය ලබමින් සිතුවම් කලාව ප්‍රගුණ කර ගත් අයුරු පසු කාලයේ දැක ගත හැකි
විය.
ඔහු විසින් සිතුවමින් සරසන ලද විහාර
අතර පොලොන්නරුවේ ජයශ්‍රී විහාරය, මාවිල සුමනකුසුමාරාමය, මල්වානේ ලෙනගම්පොළ පුරාණ විහාරය,
හබරාදූව පිටිදූව කැළණිගංගොඩ විහාරය, ගිරිඋල්ල මැද්දෙපොළ විහාරය ප්‍රධානතැනක් හිමි කොට ගනී.
සෝලියස් මෙන්දිස්ගේ චිත්‍ර ශිල්පයේ
උච්චතම අවස්ථාව දැකිය හැක්කේ කැළණියේදිය.
කැළණි නව විහාරයේ චිත්‍ර ඇඳීමේ කාර්යය ඔහු වෙත ලැබීම ඔහුගේ මෙන්ම මුළු ජාතියේම
දෛවෝපගත සිදුවීමක් ලෙස හඳුනාගත හැක්කේ 20 වන සියවසේ ශ්‍රී ලංකාවේ අතිවිශිෂ්ටතම
සිතුවම් කර්මාන්තය කැළණි විහාරය තුළින් හමුවීමයි.නව කැළණි විහාරය කරවූ හෙලේනා
විජේවර්ධන විසින් එහි චිත්‍ර ඇඳීම සඳහා සුදුස්සෙකු සොයා යන අතරතුර හමුවූ සෝලියස්
මෙන්දිස් ඇයගේ අවශ්‍යතාවය අනුව ඒ වන විට ප්‍රචලිතව තිබූ අපරදිග කලා සම්ප්‍රදාය
මෙන්ම නොකිලිටි දේශීය සම්ප්‍රදාය මුහු කිරීමේ කටයුත්තට මුල පිරීමක් වශයෙන්, ඊට අවශ්‍ය පසුබිම සකස් කර ගැනීම සඳහා ඉන්දීය ශිල්පයන් අධ්‍යනය
කිරීමටද ඇය අවස්ථාව ලබාදෙන ලදි.
ජීවිත කාලයෙන් වසර ගනණාවක් උදේ සිට රැ
වෙනතුරු පන්සල් බිත්තිදෙස බලාගෙන දීර්ඝ දුෂ්කර ක්‍රියාවක යෙදී අතිශය සියුම් වූද,අතිශය මටසිලුටු වූද, අතිශය හැඟුම්බර වූද, අතිශය සුන්දර වූද රේඛා කර්මයකින් කැළණි චිත්‍රාවලිය ගොඩනඟා ඇත.ඔහුගේ
රේඛාව කිසිවිටෙකත් චිත්‍රයට හානියක් කරන්නේ නැත. චිත්‍රය අභිබවා රේඛාව නැගී
සිටින්නේද නැත.චිත්‍රයත් පසුබිමත් අතිශය සමබර ලෙස සම්බන්ධ කරන්නේරේඛාව විසිනි.එය
පසුබිම හා චිත්‍රයේ අභ්‍යන්තරය යන දෙපාර්ශවයම එකිනෙකට ඉස්මතු වන්නට ඉඩනොදී තුලනය
කරන්නට සමත් වෙයි. මෙම තුලනය මුළුමහත් චිත්‍රාවලිය පුරාම දැකගත හැකිය.හැඟීම්
නිරූපණය හා ඇසට නොව මනසට කථාකරන සන්සුන් වර්ණ මාලාව මුළු චිත්‍රාවලිය පුරාම පැතිරී
සිට රසිකයා සමඟ බුද්ධිමය සංවාදයක යෙදී සිටී.
වසර 18ක් තිස්සේ පලන්චියේ උඩුපැලි අතට
නිදාගෙන හීනි පින්සලෙන් සිවිලිං චිත්‍ර ආදිය අඳිමින් දුෂ්කර ක්‍රියාවක යෙදුණු
සෝලියස් මෙන්දිස්ට තම කාර්යය අවසාන කර ගත නොහැකි විය.කවර හෝ හේතුවක් නිසා කැළණි නව
වෙහෙරේ බුදු පිළිමය පිටුපස පසුබිම ඇඳීම විදේශීය ශිල්පියෙකුට පැවරීමට තීරණය
විය.මෙම තීරණය ඔහුට දැනුම් දීමෙන් අනතුරුව ඔහු නිශ්ශබ්දව පලංචියෙන් බැස යන්නට
ගියේය.ඒ යළි නේන්නට හිතාගෙනය.යළි කිසිදාක චිත්‍ර නො අඳිමීයි සිතාගෙන සිත්
වේදනාවෙන් යුක්තව පිට වූ ඔහු යළි කිසිදිනෙක ඔහු චිත්‍ර ඇන්දේද නැත.
ඔහු කිසිවෙකු සමඟ කථා කළේ නැත.එහෙත්
ඔහුගේ පින්සල මුළු විශ්වයත් සමඟම කථා කළේය,
තවමත් කථා කරයි.මේ උදර මිනිසා කිසිදිනෙක මිය යන්නේ
නෑත.1975 සැප්තැම්බෙර් 01 වන දින ඔහු මිය යන විට,තවත් ශතවර්ෂ ගණනාවක් ඔහු ගැන කථා කරන්නට දේ ඔහු ඉතිරි කර
ගියේය.සෝලියස් මෙන්දිස් මිය ගියත් ඔහු පොදු ජනතාවගේ හදවත් තුළ තවමත් ජීවමාන වේ.

No comments:
Post a Comment