Showing posts with label හින්දු ලෝකඩ මූර්ති. Show all posts
Showing posts with label හින්දු ලෝකඩ මූර්ති. Show all posts

Friday, August 31, 2018


හින්දු ලෝකඩ මූර්ති
දැනට ලංකාවේ ඇති ලෝකඩ පිළිම වලින් වැඩි ප‍්‍රමාණයක් නිර්මාණය වී ඇත්තේ පොළොන්නරු යුගයේදීය. ඊට බලපානු ලැබුවේ පොළොන්නරු යුගයේ පැවති දේශපාලන තත්වයයි. එනම් ලංකාව දකුණු ඉන්දීය චෝල, පාණ්ඩ්‍ය විදේශීය ආක‍්‍රමණයන්ට යටත්ව තිබූ නිසාවෙනි. ද්‍රවිඩ නිිර්මාණ ශිල්පයට අනුව නිර්මාණය කරන ලද මූර්ති ප‍්‍රථමයෙන්ම සොයාගන්නා ලද්දේ පොළොන්නරු අංක. 01 ශිව දේවාලයෙනි. මෙම ලෝකඩ නිර්මාණ තාක්‍ෂණය ඉන්දීය ආභාෂය ඇතිව පොළොන්නරු යුගය වන විට ලංකාවේ ස්ථාපිතව තිබූ බව පෙනී යයි. මෙම යුගයේ ලෝකඩ මූර්ති අතර අගනා කලා නිර්මාණ කිහිපයකි. එනම් නටරාජා රුව, පාර්වතී රූප, ශිව දෙවි රූප, ගණදෙවි රුව, සුන්දර මූර්ති, අප්පර්ස්වාමි, කාරයික්කාල් අම්මන් වැනි නිර්මාණයන්ය.
මෙම ප‍්‍රතිමා බොහෝමයක් මේ වනවිට කොළඹ ජාතික කෞතුකාගාරයේ මහජන ප‍්‍රදර්ශනය පිණිස තබා ඇත.
නටරාජා ලෝකඩ ප‍්‍රතිමාව
11 වන සියවසට අයත් ලෝකඩ නිර්මාණ අතර නටරාජා රුව විශේෂ වේ. විශ්වයේ මැවීම, රැකීම, විනාශ කිරීම හා මුදාලීම විදහා දැක්වෙන ශිව දෙවියන්ගේ තාන්ඩවනර්ථන විලාශය නටරාජා නමින් හැඳින්වේ. ප‍්‍රතිමාවේ අත් සතරකි. මෙම අත් සතරෙන් විවිධ අර්ථයන් නිරූපණය වේ. එක් අතක ඇති උඩැක්කියෙන් විශ්වයේ මූලික දෙදරීමත්, අනෙක් අතේ ගිණිසිළුවෙන් මැවිල්ල හා විනාශයත්, තුන්වන අතෙහි අභය මුද්‍රාවෙන් සත්වයා බියෙන් නිදහස් කිරීමත් දැක්වෙන අතර, පොළොව දෙසට දිගුකර සිටින අතෙන්, ගජහස්ථ මුද්‍රාවත් නිරූපණය වේ.
වම්පස ඔසවා සිටින අතර, දකුණු පයින් වාමනයෙකු පාගාගෙන සිටී. එයින් අවිද්‍යාව දුරුකිරීම අර්ථවත් කෙරේ. දෙපසට විහිදී ඇති හිසකෙස් අතර නාගයෙකි. හිසෙහි පැළඳ සිටින ඔටුන්නෙහි හිස් කබලක්, අඩසඳක් හා කිඳුරු රූපයකි. දකුණු කනෙහි පුර්ෂ කර්ණාභරණයකි. වම් කනෙහි ස්තී‍්‍ර කර්ණභරණයකි. ජව සම්පන්න අංග චලනය විදහා දැක්වෙන මූර්තියකි. ප‍්‍රතිමාවට අමතරව පොළොන්නරු යුගයෙන් මීට වෙනස් ලෙස නිමවූ තවත් ප‍්‍රතිමාවක් පොළොන්නරු යුගයෙන් හමුවී ඇත.
පොළොන්නරුවේ නටබුන් අතරින් හමුවී ඇති වෙනත් ස්වරූපයකින් නිමවා ඇති නටරාජා ලෝකඩ ප‍්‍රතිමාවක්
පාර්වතී දේවියගේ ලෝකඩ ප‍්‍රතිමාව
ශිව දෙවියන්ගේ භාර්යාව උමයංගනාව හෙවත් පාර්වතී නමින් හැඳින්වේ. පොළොන්නරුවේ නටබුන් අතරින් මෙම පාර්වතී රූප කිහිපයක් හමුවී තිබේ. ඉන් අංක. 1 ශිව දේවාලයෙන් හමුවූ පාර්වතී රූපය ඉතා කලාත්මක නිර්මාණයකි. අසුනක වාඩිවී එක් කකුලක් නවා ආසනය මත තබා අතින් මානෙල් මලක් ගෙන තිවංක හැඩයෙන් යුතු පාර්වතී රුව තුළින් නාරි ලාලිත්‍ය මනාව ඉස්මතු වී පෙනේ. කාන්තාවකගේ නම්‍යශීලී බව, මෘදු බව, කෝමල බව ලෝකඩ මාධ්‍ය තුළින් ඉස්මතු කිරීමට ශිල්පියා සමත් වී තිබෙන ආකාරය අනර්ඝය.
සුන්දර් මූර්ති ලෝකඩ ප‍්‍රතිමාව
10 වන සියවසට පමණ අයත් තිභංග ඉරියව්වෙන් යුතු මෙම ප‍්‍රතිමාවේ මුහුණින් භක්තිය විදහා දක්වයි. ආභරණයන්ගෙන් සැරසුන සිටගත් පුරුෂ රුවකි. මෙය සුන්දර් මූර්ති නමින් හැඳින්වේ.
අප්පර්සාමි ලෝකඩ ප‍්‍රතිමාව
උදැල්ලක් කරෙහි එල්ලාගෙන නමස්කාර විලාශයකින් නිර්මාණය කර ඇති මූර්තිය ශිව භක්තික අප්පර්ස්වාමි ලෙස හැඳින්වේ.
කාරයික්කාල් අම්මන් ලෝකඩ ප‍්‍රතිමාව
මෙම මූර්තිවලට හාත්පසින්ම වෙනස් රසයක් ඉස්මතු කරන මූර්තියක් හමුවී ඇත. එය කාරයික්කාල් අම්මන් ලෙස හැඳින්වේ. මෙයද ලෝකඩ මූර්තියකි. කෘෂ වූ සිරුරකින් හා හැඩපළු ගෙතුන විහිදී ගිය කොස් කළඹකින් යුතු පිළිකුලක් ජනිත කරවන කාන්තා රුවකි. විශාල තෝඩු හා ඇට මාලයක් පැළද සිටී. දැනට කොළඹ කෞතුකාගාරයේ තැන්පත් කර ඇති මෙම රුවත් කාලි දෙව්දුව නිරූපණය වන බව විද්වත් මතයයි.
මීට අමතරව ගණදෙවි ලෝකඩ ප‍්‍රතිමාවක්, සරස්වතී ලෝකඩ ප‍්‍රතිමාව, සිඛී වාහන ලෝකඩ ප‍්‍රතිමාව, බාලකි‍්‍රෂ්ණ ලෝකඩ ප‍්‍රතිමාව, චණ්ඩෙශ්වර ලෝකඩ ප‍්‍රතිමාව, විෂ්ණු දෙවියන්ගේ ලෝකඩ ප‍්‍රතිමාව, සෝමස්කන්ධ මූර්ති ශිව ලෝකඩ ප‍්‍රතිමාව, බටුක භෙරව ශිව ලෝකඩ ප‍්‍රතිමාව සහ වාඩි වී සිටින ඉරියව්වකින් යුතු දෙව්දුවකගේ ලෝකඩ ප‍්‍රතිමාවක්ද ඇතුළුව පහත ලෝකඩ ප‍්‍රතිමා පොළොන්නරු යුගයෙන් හමුවී තිබේ.
ගණදෙවි ලෝකඩ ප‍්‍රතිමාවක්
සිඛී වාහන ලෝකඩ ප‍්‍රතිමාව
බාලකි‍්‍රෂ්ණ ලෝකඩ ප‍්‍රතිමාව
සෝමස්කන්ධ මූර්ති ශිව ලෝකඩ ප‍්‍රතිමාව
චණ්ඩෙශ්වර ලෝකඩ ප‍්‍රතිමාව
විෂ්ණු දෙවියන්ගේ ලෝකඩ ප‍්‍රතිමාව
වාඩි වී සිටින ඉරියව්වකින් යුතු දෙව්දුවකගේ ලෝකඩ ප‍්‍රතිමාව්
බටුක භෙරව ශිව ලෝකඩ ප‍්‍රතිමාව

අවුකන විහාරය