පසුගිය සියවස් දෙක තුළ දිවයින පුරා ඉදි
කර තිබූ විහාරාරාම අලංකාර කළ බිතු සිතුවම් ආරක්ෂා කර ගැනීම සඳහා ඒවා අධ්‍යනය
කරමින් පිටපත් කිරීමේ සුවිසල් මෙහෙවරක යෙදුණු ශිල්පීන් අතර ලොකු කංකානමගේ තෝමස්
පීරිස් මංජු ශ්‍රී හෙවත් එල්.ටී.පී.මංජු ශ්‍රී සිත්තරා ප්‍රධානත්වයක් හිමිකර
ගනී.පැරණි ලෙන් විහාරවල මුල් සිතුවම් විනාශ වන අයුරු දැක එහි සැබෑ ස්වරූපය ආරක්ෂා
කර දීමට වසර ගණන් මුළුල්ලේ අට්ටාල මත හිඳ ගෙන අනේක විධ දුක් කම්කටොලු මැද ඒ සඳහා
තම මුළු දිවියම කැප කරමින් අනගි මෙහෙවරක යෙදුණු ඔහු සැබෑම දේශප්‍රේමියෙකි.
මංජුශ්‍රී හිමි සිත්තම් කලාව කෙරෙහි
ඇල්මක් දැක්වූ අයෙකි.
බොරැල්ලේ ගෝතමී විහාරයේ බිතු සිතුවම්
ඇඳීමේ නියැළී සිටි ප්‍රවීණ චිත්‍ර ශිල්පී ජෝර්ජ් කීට් මහතා හමුවීම ඔහුගේ දිවියේ
සුවිශේෂි සිදුවීමකි.චිත්‍ර කලාව පිළිබඳ ව ඔහු තුළ උනන්දුව හා ආශාව ඇතිවී තිබෙන්නේ
ද ජොර්ජ් කීට් ගේ ඇසුර නිසාය.
මහා කවි තාගෝර් විසින් අරඹන ලද ශාන්ති
නිකේතනයට 1932දී ඇතුළු වූ මොහු "නන්දලාල්
බෝස්" ඇතුළු ප්‍රවීණ චිත්‍ර ශිල්පාචාරීන් යටතේ ශිල්ප හදාරා 1934දී සිය රටට පෙරළා පැමිණියේය.ඒ තමාට
ආවේණික චිත්‍ර ශෛලියක්ද උරුම කර ගනිමිනි.1936දී යළිත් ශාන්ති නිකේතනයට යන ගමනේ දී රැගෙන
ගිය ඔහුගේ කලාකෘති තාගෝර් තුමාගේ පැසසුමට ලක්වී ඇත. එමෙන්ම ටිබෙටය,නේපාලය,ආදී රටවලට ගොස් චිත්‍ර කලාවත් මහායාන දහමත්
හදාරා 1938 දී නැවත මවු රටට පැමිණියේය.
බිතු සිතුවමක් සමාජ පරිසරයක නිපදවීමක්
බව පවසන ඒ මහතා එමගින් සමාජයේ ආර්ථික, දේශපාලන හා සාමාජික තත්වයන්ද නිරූපණය කරන බව පවසයි. සිත්තරා කථා
වස්තුවක සාරය චිත්‍රගත කිරීමට යම් තරමක හෝ සාමාර්ථ්‍යයක් දැක්වූයේ නම් එය බලා රස
විඳ ගැනීමට එකල සිටි මිනිසාත් එතරම්ම සාමාර්ථ්‍යකින් යුක්තව සිටි බව ඔහුගේ අදහසයි.
කවර යුගයක කවර පරිසරයකට අයිති වූවත් සිත්තරාගේ අදහස පහසුවෙන් ප්‍රකාශවන සිතුවම
උසස් සෞන්දර්යාත්මක අගයකින් යුක්තයැයි පවසන ඔහු කොස්ගොඩ ගනේගොඩැල්ලේ දහම්සොඬ රජු
ඇමැත්තන් සමු ගන්නා තැනත්,
අම්බලංගොඩ
සුනන්දාරාමයේ මහමන්ධාතුවේ නැවුම් පාටියත්, මුල්කිරිගල තේලපත්තයේ නැටුම් පාටියත්, දොඩන්දූව ශෛල බිම්බාරාමයේ මහින්දාගමනයේ දෙවන
පෑතිස් රජු මිහිඳු හිමියන් හමු වන තැනත් අමතක කළ නොහැකි චමත්කාරජනක රස වැහෙන
සිතුවම් වශයෙන් හඳුන්වා දී තිබේ.
ලයනල් වෙන්ඩ්ට් මහතා ගේ
පුරෝගාමිත්වයෙන් අරඹන ලද 43 කණ්ඩායමේ සාමාජිකයෙකු ද වන මෙම හිමිනම
සමකාලීන චිත්‍ර ශිල්පීන් සුහදව ඇසුරු කළ අයෙකි.මංජු ශ්‍රී හිමි සිංහල කලා ක්ෂේත්‍රයේ
විශේෂයෙන් කැපී පෙනෙන්නේ ශ්‍රී ලංකාවේ පාරම්පරික විහාර බිතු සිතුවම් අධ්‍යනයටත්
ඒවා පිටපත් කර ආරක්ෂා කිරීමටත් කටයුතු කළ හෙයිනි.20 වෙනි සියවසේ මුල් භාගය විහාර බිතු සිතුවම්
පරිහානියට යමින් තිබූ අවධියකි.යුරෝපා චිත්‍ර කලාවේ බලපෑම 18 වන සියවසේ විහාර බිතු සිතුවම් කලාව
කෙරෙහි ඇතිවීම එයට ප්‍රධාන හේතුවකි. අපමණ දුෂ්කරතා මධ්‍යයේ බෞද්ධ විහාර ගණනාවක
චිත්‍ර පිටපත් කර එහි ගැබ් වූ පෞරාණික හා සංස්කෘතික අගය මේ යුගයේ සිංහල පාඨකයාට
ඉදිරිපත් කළේ මංජු ශ්‍රී මහතාය.
1947 මැයි 23 දා කොළඹ කලාභවනේ දී පවත්වන ලද මංජු ශ්‍රී හිමියන්ගේ ඒක පුද්ගල චිත්‍ර
ප්‍රදර්ශණය බොහෝ කලා ලැදියන්ගේ නෙත් සිත් ඇඳ බැඳ ගත්තේය.එකළ මේ හිමියන්ගේ කලා
නිර්මාණ හා පිටපත් කල සිතුවම් මෙරට පමණක් නොව පිටරටවලද ප්‍රදර්ශණය කෙරිණි.
නිව්යෝර්ක්, වොෂින්ටන් යන නගරවල පවත්වන ලද එම කලා
ප්‍රදර්ශන කාගේත් පැසසුමට ලක්විය.
1950 දී පැවිදි දිවියෙන් සමුගත් මංජු ශ්‍රී එතැන්
පටන් එල් ටී පී මංජු ශ්‍රී යනුවෙන් ප්‍රසිද්ධියට පත්විය.තවදුරටත් දේශීය
බිතුසිතුවම් පිටපත් කිරීම ඉදිරියට ගෙනගිය මොහු, එවායේ අගය විටින් විට පාඨකයන්ට ඉදිරිපත්කළේය. 1951, 1952, 1953 වසරවල ටයිම්ස් ආයතනයේ ලංකාදීප
පුවත්පතේ ලිපි මාලාවක්ම පලවිය.
1956 දී වොෂිංටන් නුවර ජාතික කලා භවනේ දී පවත්වන ලද
"පළිඟු භාජන" 36ක් එම කලා දැක්මට ඇතුළත් විය. ලාංකික
ශිල්පීන් 6දෙනෙකු මේ සඳහා ඉදිරිපත් වුවද තෝරා
ගනු ලැබුවේ දෙදෙනෙකුගේ කෘති පමණි. ඉන් එකක් ජොර්ජ් කීට් මහතාගේ "වෙසතුරු රජ
දේවිය දන් දීම " නම් චිත්‍රයයි. අනෙක මංජු ශ්‍රී ගේ "තාරා දෙවඟන නම්
චිත්‍රයයි.එමෙන්ම ශ්‍රී ජයවර්ධනපුර නව පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ සිතුවම් අඳින
ලද්දේ ද මොහු විසිනි. මංජු ශ්‍රී විසින් චිත්‍ර කලාවටත් සාහිත්‍ය නිර්මාණ වලටත් ඉටුකළ
සේවය වෙනුවෙන් උපහාර වශයෙන් 1979 දී ආසියාවේ නොබෙල් ත්‍යාගය වශයෙන් හඳුන්වන "රැමෝන් මැග්සේසේ" අන්තර්ජාතික
සම්මානයෙන් පිලිපීන රජය විසින් පුදනු ලැබීය. එමෙන්ම මොහුගේ "ලංකා
බිතුසිතුවම්" නම් ග්‍රන්ථය රාජ්‍ය සම්මානවලට ද පාත්‍ර විය.1982දී පේරාදෙණිය ශ්‍රී ලංකා විශ්ව විද්‍යාලය
සාහිත්‍ය සම්මානයෙන්ද පුදනු ලැබීය.
මෙසේ විශ්ව කීර්තියට පත් මංජු ශ්‍රී
සිත්තරාණන් 1982 ජූනි මස 16 වන දින මෙලොවින් සමු ගත්තේය.