Showing posts with label සන්නිදර්ශන චිත්‍ර. Show all posts
Showing posts with label සන්නිදර්ශන චිත්‍ර. Show all posts

Friday, August 31, 2018


සන්නිදර්ශන චිත්‍ර
          ඉංග්‍රීසි භාෂාවේ Illustration යන වචනය අර්ථගැන්වෙන සන්නිදර්ශන චිත්‍රය යන සිංහල වදනින් පොතක පුවත්පතක හෝ සඟරාවක යම් වාක්‍යම ය රචනයක් විස්තර කිරීමට හෝ එහි අර්ථය තීව්‍ර කිරීමට යොදා ගන්නා සිතුවම් විශේෂය යන්න අදහස් වේ.
          මේ අනුව යම් ලිපියක , කෙටි කතාවක , පද්‍ය පෙළක ආදියෙහි අන්තර්ගතය තීව්‍ර ලෙස ප්‍රකාශ කිරීමට අඳිනු ලබන චිත්‍රමය නිරුපණය සන්නිදර්ශන චිත්‍රයක් ලෙස හැඳින්විය හැකිය. සන්නිදර්ශනය චිත්‍රණය තුළින් රචනයෙහි වැදගත් කරුණු හෝ සිද්ධියක් හෝ සමස්ත නිරූපණයක් ඉදිරිපත් කරයි.මේ වදන තව දුරටත් අර්ථදැක්වීමට ස+නිදර්ශන යනුවෙන් විසන්ධි කර දැක්විය හැකිය.ස උපසර්ගයෙන් සහිත යන්නත් නිදර්ශනය යන වචනයෙන් උදාහරණය යන්නත් අර්ථ දැක්වේ.
          සන්නිදර්ශන චිත්‍ර ස්වාභාවික ලෙස හෝ නිර්මාණාත්මක ලෙස සංරචනය කළ හැකිය. රාමුවක් තුළ චිත්‍රය නිරූපණය නොකිරීම සන්නිදර්ශන චිත්‍රයේ ඇති විශේෂ ලක්ෂණයකි. සන්නිදර්ශනය රචනයේම එක් කොටසක් ලෙස නිරූපණය වීම නිසා පාඨකයාට කියවීමෙන් ලැබෙන අත්දැකීම වඩාත් තීව්‍ර ලෙස සමීප වීමට හේතුවෙයි. සන්නිදර්ශන චිත්‍ර ඇඳීමේදී ශිල්පියාට ආවේණික වූ ශෛලියක් හා ශිල්ප ක්‍රමයක් භාවිත කරන අතර වර්ණ කිරීමේදීද ශිල්පියාගේ රුචිකත්වය හා රචනයේ ගම්‍ය අර්ථය තීව්‍ර වන අයුරින් වර්ණ මාධය භාවිතයට ගනියි. බොහෝ සන්නිදර්ශන චිත්‍ර නිර්මාණාත්මකව සම්පිණ්ඩනය කර ඇත්තේ රචනයේ ගම්‍ය අර්ථය හකුළුවා දැක්වීම පිණිසය. එසේම සම්පිණ්ඩනය තුළින් අපූර්වත්වයක් ඉස්මතු වීමද සන්නිදර්ශන චිත්‍රයේ ඇති සුවිශේෂී ලක්ෂණයකි. ඇතැම් සන්නිදර්ශන චිත්‍රය කාටුන් ස්වරූපයෙන් චරිතවල කැපී පෙනෙන ලක්ෂණ මතු ව පෙනෙන පරිදි පරිමාණය වෙනස් කර හෝ විකෘති කර ඇඳ දක්වන අවස්ථාද දක්නට ලැබේ. එසේ නමුත් පුවත්පත් කාටුනය හා සන්නිදර්ශනය යනු වෙනස් වූ කලා අංගයන් 02 කි. සන්නිදර්ශන චිත්‍ර වලදී කාටුන්වල හා චිත්‍ර කතාවල භාවිත කරන සංවාද කොටු දක්නට නොලැබේ.
          ශ්‍රී ලංකාවේ පුවත්පත් කලාව ආරම්භයේ පටන් මේ සඳහා සන්නිදර්ශන චිත්‍ර අන්තර්ගත කර ඇති අතර ප්‍රසිද්ධ සන්නිදර්ශන චිත්‍ර ශිල්පීන් අතර මොටාගෙදර වනිගරත්න , සිබිල් වෙත්තසිංහ , G.S ප්‍රනාන්දු , වටරැක ප්‍රේමදාස , ජයසිරි ගමගේ , සුසිල් ප්‍රේමරත්න ප්‍රධාන තැනක් ගනී. ඔවුන් තමාටම ආවේණික වූ ශෛලීයකින් සන්නිදර්ශන චිත්‍ර නිර්මාණය කර ඇත. වර්තමානයේ සන්නිදර්ශන චිත්‍ර නව මඟකට යොමු කළ විනිහෙට්ටිගොඩ , සමන් කලුබෝවිල , ජනක රත්නායක , කුමුදු පීරිස් වැනි නිර්මාණ ශිල්පීන් හඳුනාගත හැකි අතර සති අන්ත පුවත්පත්වලද මොවුන් විසින් නිර්මාණය කළ සන්නිදර්ශන චිත්‍ර කාගෙත් නෙත් පිනවයි.
          පහත දැක්වෙන්නේ ලංකාවේ පුවත් පත් කිහිපයකින් උපුටා ගන්නා ලද සන්නිදර්ශන චිත්‍රයක්ය. ඒවා හොඳින් අධ්‍යනය කරන්න. තේමාවට අනුව රූප සංරචනයක් භාවිත කළ ශෛලීය හා වර්ණ සමායෝජනය පිළිබඳවත් සියුම්ව අධ්‍යනය කර ඔවුන්ගේ කලා හැකියාවන් අගයමින් ඒ තුළින් ඔබටම ආවේණික ශෛලියකින් යුතුව සන්නිදර්ශන චිත්‍ර නිර්මාණය කිරීමට උත්සහ ගන්න.

අවුකන විහාරය